ශ්‍රී ලංකා ක්‍රිකට් රැකගතු යුතුමයි


Udithamal Hemachandra 

අද තරඟයේ (SL vs IND 2021/07/18) ජය හෝ පරාජය පැත්තකින් තැබූ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තවමත් බලාපොරොත්තුවක් තබා ගත හැකිය යන හැඟීම අප කාහටත් තිබේ. කොල්ලෝ දක්ෂයෝ ය. එසේ නම් වරද ඇත්තේ පරිපාලනයේ හෝ නායකත්වයේ හෝ පුහුණුකරුවන්ගේ නොවන බව මගේ අදහසයි. මේ කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ විශ්වාසනීයත්වය පිළිබඳ විශ්වාසනීය තක්සේරුවකි.


01. ක්‍රීඩාවේ ජීවගුණය

02. කණ්ඩායම් හැඟීම

03. පුහුණුව සහ උනන්දුව

04. සැළසුම හා මුහුණදීම


අද තරඟයේ ඉතා අපූරුවට ප්‍රදර්ශනය විය. ඒවා ගොඩනැඟෙන්නේ ඉතා සෙමින් සහ අසීරුවෙනි. එසේ නම් මේ කණ්ඩායම අසීරුම දේ කර අවසන්‍ ය. දැන් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ විශ්වාසනීය බව ගොඩනඟා ගැනීම පමණි.

කාලයක් පුරාවට පවත්වාගෙන යා හැකි කණ්ඩායමක් සමඟ විශ්වාසයකි. අනෙකා පිළිබඳ විශ්වාසයකි. එය සකස් කිරීම ඉතාම පහසු දෙයකි. අවශ්‍ය වන්නේ දක්ෂ සවන්දෙන්නෙකු ක්‍රීඩකයන් සමඟ සමීපව කටයුතු කරවීමය. ඔහු කොල්ලන්ගේ ඔළු හදනවා සේම කොල්ලන්ට හදවතින්ම සමීපවන්නෙකු විය යුතුය. කෙටි කලකින්ම ඔහු කොල්ලන්ගේ දුක අහන අයියා කෙනෙකු විය යුතුය. එසේ වුවහොත් කොල්ලෝ සිය පෞද්ගලික ජීවිතය ද ඔහු සමඟ සකස් කර ගනු ඇතැයි මම විශ්වාස කරමි. අපට පසල් විෂයන්ට වඩා ජීවිතය දිනන හැටි ඉගැන්වූ ආදරණීය ගුරුවරු සේ හෙතෙම ක්‍රිකට් වලට එහා ගිය ජීවිතය ඉගැන්වූ පුද්ගලයෙකු වනු නොඅනුමානය.

අර්ජුන හෝ මහේල ඉගෙනගත් ක්‍රිකට් වලට වඩා දැන් ක්‍රිකට් වෙනස් බව අප ද තේරුම් ගත යුතුය. අර්ජුන හෝ මහේල 11 වසරේ දී ඉගෙනගත් විද්‍යාව පාඩමට වඩා දැන් ක්‍රිකට් ගහන කොල්ලෝ ඉගෙන ගෙන තිබෙන විද්‍යාව වෙනස් වන්නා සේම අතීත අත්දැකීම් හා උපායමාර්ග ද අදට නොගැළපෙන්නට පුළුවන් ය. හැබැයි අර්ජුන සහ මහේල තමන් සමඟ ක්‍රිකට් ගැසූ කොල්ලන්ගේ ඔළු සෑදීම, කාණ්ඩායම් නායකයන් ලෙස සිටියදීම අපූරුවට සිදුකර තිබේ. මම කියන්නේ එවැන්නෙකු කණ්ඩායම සමඟ එකතු විය යුතු බවය.


කුසල්ගේ සහ දික්වැල්ලගේ ප්‍රශ්නයට වුව ද බැට් එකෙන් පිළිතුරු දිය යුතුතැනට ඔවුන්ගේ මනස සකස් කළ යුත්තේ ය. කොන්ත්‍රාත් කාලයකට එන ඉංග්‍රීසි කතාකරන පුහුණුකරුවෙකු හෝ අතිශය රාජකාරි බහුල කළමණාකරුවෙකු හෝ අතින් කොල්ලන්ගේ විශ්වාසනීයත්වය ගොඩනැගෙතැයි බලාපොරොත්තු විය නොහැක.

මම මුලින් කී විදියට කොල්ලන්ගේ විශ්වාසය දිනාගන්නාවූ සහ කොල්ලන්ගේ විශ්වාසය ගොඩනඟන්නා වූ හොඳ වෘත්තිකයෙකු ස්ථිරව කණ්ඩායම සමඟ සම්බන්ධ විය යුතුමය. ඔහු කාගේවත් අතකොලුවක් නොවී සිටීමද විය යුතුමය.

ඔහු, මේ හැම තරුණ ක්‍රීඩකයෙකුගේම පාසල් පුහුණුකරු සමඟ එම සංවාදය ආරම්භ කළ යුතුයැයි මම යෝජනා කරමි. අවසාන වශයෙන් මම කියන්නේ මේ කොල්ලෝ දක්ෂයෝ ය. අද තරඟයේ අපේ ඉනිමේ DOT බෝල ගණන දෙස බැලීමේදී පෙනී යන්නේ ද ඒ විශ්වාසයේ මද බවය.

ක්‍රිකට් අපේ ය.

එය රැක ගනිමු.

Post a Comment

0 Comments